අභාවප්‍රාප්ත ටෙනිසන් කුරේගේ දේහය නිවසට
අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය අද (29) පෙරවරුවේ ඒ මහතාගේ නිවසට ගෙනැවිත් ඇත.
ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන්, දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් මොරටුවේ පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණි සිට බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
දශක තුනකටත් අධික කාලයක් මෙරට ජනතාව තම රංගනයෙන් හාස්‍යයේ ගිල්වූ ටෙනිසන් කුරේ මහතා සිය සහෘදයා වූ බන්දුගෙන් පමණක් නොව, රසිකයන් සියලුදෙනාගෙන්ම ඊයේ සමුගත්තේය.
ඒ කලක් රෝගාතුරව සිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදීය.
මිය යන විට ඔහු 68 වැනි වියේ පසු වුණි.
තම ප්‍රහසන සගයා වෙනුවෙන් සිය ශෝකය පළ කිරීම සඳහා ජනප්‍රිය ප්‍රහසන නළු බන්දු සමරසිංහ මහතා ඊයේ රාත්‍රියේ මොරටුවේ පිහිටි ටෙනිසන් කුරේ මහතාගේ නිවසට පැමිණ තිබුණි.
1952 අප්‍රේල් 30 වැනිදා උපත ලද ටෙනිසන් කුරේ 1986 වසරේ තිරගත වූ, දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්ෂණය කළ “පෙරළිකාරයෝ“ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියේය.
පසුව චෙරියෝ ඩොක්ටර්, අලි බබා සහ හොරු හතලිහ, කම් ඕ ගෝ චිකාගෝ, ලව් නයින්ටි ෆෝ, වැඩ බැරි ටාසන් ආදි චිත්‍රපටවල සිදු කළ රංගනයෙන් ජනාදරයට පත් ටෙනිසන් මහතා මෙරට සිනමාවේ විකට රජා වූ ෆ්‍රෙඩී සිල්වාගෙන් පසු වඩාත් ජනතා ආදරය දිනූ ප්‍රහසන රංගන ශිල්පීන් දෙදෙනාගෙන් අයකු බවට පත්වුණි.
ඔහුගේ ප්‍රහසන සගයා වූ බන්දු සමරසිංහ මහතා සමඟ එක්ව රෑ ඩැනියෙල් දවල් මිගෙල්, චෙරියෝ, කොලොම්පූර්, සොමි බෝයිස් ආදි චිත්‍රපටවල සිදු කළ රංගනය මෙරට සිනමාවේ බන්දු – ටෙනී ප්‍රහසන යුගයක් බිහිකිරීමට ද හේතුවුණි.
සිනමාව මෙන්ම වේදිකා නාට්‍ය ඔස්සේද රංගනයෙන් ප්‍රේක්ෂක ජනතාව සිනහ සයුරේ ගිල්වූ ටෙනිසන් කුරේ මහතා 2011 වසරේ “තෑන්ක් යූ බර්ටි“ නිර්මාණය කරමින් සිනමා අධ්යක්ෂණයටද පිවිසියේය.
ඒ, මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සවස මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථානයේදී සිදුකෙරෙන බව පවුලේ ඥාතීන් සඳහන් කළේය






















