Tuesday, November 10, 2026
HomeNEWS“එක රටක් - එක නීතියක්” කාර්ය සාධක බලකාය හමුවේ...විශ්වවිද්‍යාල ප්‍රජාව අදහස් දක්වති ...

“එක රටක් – එක නීතියක්” කාර්ය සාධක බලකාය හමුවේ…විශ්වවිද්‍යාල ප්‍රජාව අදහස් දක්වති …

Ø රටේ පොදු නීතියක් ස්ථාපනයට ගන්නා උත්සාහයට ප්‍රශංසාව  ….

Ø වැඩසටහන සාර්ථක කර ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලයේ
නීති පීඨයේ පූර්ණ සහාය ….

Ø කාර්ය සාධන බලකායට අදහස් දැක්වීමට විශ්වවිද්‍යාල
සිසුන්ගේ දැඩි උනන්දුවක් ….

ලෝකයේ කිසිඳු රටක ක්‍රියාත්මක නොවූ සංකල්පයක් තේමා කර ගනිමින් රටේ පොදු නීතියක් ස්ථාපනය කිරීමට අඩිතාලම සැපයීමේ රජයේ උත්සහය බෙහෙවින් අගය කරන බව විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු පවසති.

“එක රටක් – එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය විශ්වවිද්‍යාල ප්‍රජාවගේ අදහස් ලබා ගැනීම අද (19) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී සිදු වූ අතර එහිදී ඔවුහු මේ බව කියා සිටියහ.

කොළඹ, රුහුණ, ජයවර්ධනපුර, යාපනය, අග්නිදිග, පේරාදෙණිය, කැලණිය, රජරට, වයඹ ඇතුළු විශ්ව විද්‍යාල 18ක් නියෝජනය කරමින් පිඨාධිපතිවරු, ආචාර්ය, මහාචාර්යවරු සහ විද්‍යාර්ථයෝ මීට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව තුළ “එක රටක් එක නීතියක්” යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්  විවිධ පාර්ශ්ව දරන අදහස් සහ මතවාද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව රට තුළ එය ක්‍රියාත්මක කිරීම සඳහා වූ  සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් කාර්ය සාධන බලාකය ස්ථාපනය කරනු ලැබීය.

ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාවගේ අදහස් සහ යෝජනා රැසක් මෙහිදී ඉදිරිපත් වූ අතර කාර්ය සාධක බලකායේ අදහස් විමසීමේ රැස්වීම් මාලාවේ ඉතා සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙය හැදින්විය හැකි බව එහි සභාපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ ප්‍රකාශ කළහ.

සරු පසට – සරු පොළවට සභ්‍යත්වයට – ශිෂ්ටාචාරයට, සංස්කෘතියට ගරු කළ නිදහස් රටක් එදා අපට උරුම විය.  අධිරාජ්‍යවාදීන් අපෙන් උදුරාගත් ඒ රට, සියලුදෙනා එක්ව නැවත ඉල්ලා සිටිය යුතු බව උන්වහන්සේ සඳහන් කළහ.

මහපොළවේ ඇති ගැටලු ඇති සැටියෙන් හඳුනාගෙන විසඳුම් දීමේ නව ප්‍රවේශයක් ලෙස කාර්ය සාධක බලකාය ඉදිරියට යන බවත්, හොඳ අරමුණු පොත්වල ලියා තැබීමෙන් පමණක් ඵලක් නොවන අතර ඒවා ජයග්‍රහණය කරා මෙහෙයවීමට කැපකිරීම් කළ යුතු බවත් සඳහන් කළ  උන්වහන්සේ ත්‍රස්තවාදය පරාජය කළත් බෙදුම්වාදය පිළිබඳ අදහස පරාජය කිරීමේ වගකීම තවමත් අප අතර තිබෙන බව ද කියා සිටියහ.  ඒ සඳහා උගතුන් සහ බුද්ධිමතුන් සමග උඩුගම්බලා පිහිනීමට තම කණ්ඩායම සූදානම් බව ද උන්වහන්සේ අවධාරණය කළහ.

 විදේශීය නීති අතරට ස්වදේශීකබවක් එක් කිරීම ජාතික  අවශ්‍යතාවයක් ලෙස හඳුනාගත යුතුය. එක් ජන කොටසකට, සීමිත පිරිසකට අසාධාරණයක් සිදුවන විෂමතා නීතියේ තිබේ නම් ඒවා වහාම ඉවත් කළ යුතු බවත් කොළඹ නීති පීඨයේ මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න මහත්මිය කියා සිටියාය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු මැජික් ලියවිල්ලක් නොවේ. මූලික නීති සංකල්ප එහි අන්තර්ගතය. ඒ පිළිබඳ අවබෝධයෙන් යුතුව එකම නීතියක ආධිපත්‍යයක් සහිත රටක් ගොඩනැගීම අවශ්‍ය බව ද මහාචාර්යවරිය පැවසුවාය.

විවිධ ජනවර්ග, සංස්කෘතින් හා භාෂා පැවතීම රටකට ඇති ශක්තියක් සේම වටිනාකමකි. කිසිදු ජන කොටසකට නොරිදෙන සමාජ සාධාරණත්වයක් හා සමානතාවක් වෙනුවෙන් සියලුදෙනා කැපවීමේ අවශ්‍යතාව ද එතුමිය අවධාරණය කළ අතර එක රටක් – එක නීතියක් වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ උපරිම සහාය ලබා දෙන බව  ද පැවසුවාය.

කාර්ය සාධක බලකාය හමුවේ අදහස් දැක්වීමට විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන්ගේ ද විශාල උනන්දුවක් දක්නට ලැබිණ. යාවත්කාලීන වන ලෝකය හමුවේ නීතිය ද යාවත්කාලීන විය යුතු බව පෙන්වා දුන් ඔවුහු ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණය මෙම බලකාය මගින්  යෝජනා කෙරෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව කියා සිටියහ.

“එක රටක් – එක නීතියක්” සඳහා  යන ගමනේ දී නීති පිළිබඳ සාක්ෂරතාව ප්‍රමාණවත් නොවීම ගැටලුවක් බව පෙන්වා දුන් සිසුහු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියකින් එය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටියහ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සමත් ධර්මරත්න, රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගයත්‍රී විජේසුන්දර, රජරට විශ්වවිද්‍යාලයේ පරිසර කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජේ.එම්. එස්.බී. ජයසුන්දර, අග්නිදිග විශ්වවිද්‍යාලයේ කලා හා සංස්කෘතික පීඨයේ දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුවේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය එම්.ඒ.එම්. ෆවුසර්, වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අසංක පල්ලේගෙදර, වව්නියාව විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්ය ගයාන් බණ්ඩාර, කථිකාචාරිනී සලීකා ෆාරුක්, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති සම්පත් පුංචිහේවා, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් දේවසිරි, මහාචාර්ය සර්වේශ්ස්වරන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හලීම් අලිබකර්, යාපනය විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාර්ය ෂාරණ්‍යා සමිත්තම්බි, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එච්.එම්. නවරත්න බණ්ඩා යන මහත්ම මහත්මීහු  මෙහිදී අදහස් දැක්වූ අතර Zoom තාක්ෂණය ඔස්සේ ද ආචාර්ය මහාචාර්යවරු සහ ශිෂ්‍යයෝ අදහස් දැක්වූහ.

එක රටක්- එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක  බලකාය ශ්‍රී ලංකාවේ විවිධ පළාත් ආවරණය කරමින් අදහස් හා යෝජනා ලබාගනිමින් සිටී.

තවද කාර්ය සාධක බලකාය අමතා වේලාව වෙන් කර ගත් විවිධ සංවිධාන හා ඒවායේ නියෝජිතයන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි කාර්යාලයට පැමිණ අදහස් දැක්වීම කළහ.

 කාර්ය සාධක බලකායේ සාමාජිකයන් වන මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය සුමේධ වීරවර්ධන, නීතිඥ සංජය මාරඹේ, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, එරන්ද නවරත්න, පානී වෑවල, වෛද්‍ය සුජීව පණ්ඩිතරත්න, අසීස් නිසාර්දීන්, නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න යන මහත්වරු සහ එහි ලේකම් ජීවන්තී සේනානායක මෙනවිය එක්ව සිටියහ.

                                   

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ මුළු කානු පද්ධතියම පසුගිය වසර 2ක තුළ පිරිසිදු කර නඩත්තු කරලා නෑ-පාඨලී

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී...

2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්

​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්. ​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 08 වන දින කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ...

කොළඹ ගං වතුරෙන් ජනතාවට වුණු පාඩුවට ආණ්ඩුවෙන් වහාම වන්දි ලබාදිය යුතුයි-ගම්මන්පිල

2026 නොවැම්බර් 9 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් ඉතිහාසයේ කිසිම දිනක නොවුණු අයුරින් පසුගිය සිකුරාදා, ඒ...

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ. ඌණ-උපයෝජිත රාජ්‍ය දේපළ මහජන යහපත උදෙසා යොදාගැනීමේ ජාතික වැඩපිළිවෙළට මෙය කදිම නිදසුනක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img