Friday, October 30, 2026
HomeNEWSජාතිවාදය ඇති කරලා තියෙන්නේ ආණ්ඩුවයි- එජාප සභාපති වජිර

ජාතිවාදය ඇති කරලා තියෙන්නේ ආණ්ඩුවයි- එජාප සභාපති වජිර

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (19) කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදීමෙහිදී අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා

ඊයේ අපේ VIII වැනි විධායක ජනාධිපතිතුමා මිහින්තලේදී මේසේ ප්‍රකාශ කළා.

“අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය මගින් බුදු දහමට ප්‍රමුඛ ස්ථානය ලබා දිය යුතුයි.

පූජ්‍ය නායක හිමිපාණන් මාගේ කතාවට පෙර සඳහන් කර පරිදි, ථෙරවාදී බුදු දහමේ ආරම්භය සිදු වූයේ මෙතැනින්ය. ඒ පාඨලී පුත්‍රයේ පැවැත්වුණු තෙවැනි බුද්ධ සංගායනාවෙන් පසුව, එහිදී දෙවැනි සංගායනාවේදී පැන නැගුණු ගැටලු නිරාකරණය කරන ලදී. මහා අශෝක අධිරාජ්‍යාගේ උපදෙස් ද රැගෙන මිහිඳු මහා අරහත් හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කර ථෙරවාදී බුදු දහමට මෙරටට සමගාමීව ගෙන ආ මොහොතේදීය“ කියලා තමයි ජනාධිපතිතුමා කතාව ආරම්භ ක‍ළේ.

මම හිතන්නේ දැන් මේ ගැන අපි දිගින් දිගට කරුණු කාරණා මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකික මහජනතාව දැනුවත්වීම සඳහා ඉදිරිපත් කළා. කෙසේ හෝ මම හිතන්නේ නැවත නැවතත් මේ සමාවදීම ගැන රටේ ජනතාව දැනුවත් කිරීම හොඳයි කියලයි.

සමාව දීම ඉස්සෙල්ලාම ආරම්භ වන්නේ ගෙදර අම්මාගෙන් සහ තාත්තාගෙන්. දෙවෙනි වතාවට සමාව දෙනවා පාසැලට ගියාම ගුරුවරු ගුරුවරියන්, විදුහල්පතිවරුන්. තුන්වෙනි වතාවට සමාව දෙනවා සමාජයට ගියාම, වැඩ කරන්න ගියාම ආයතන ප්‍රධානියා. රාජ්‍ය සේවයේ නම් රාජ්‍ය සේවයට ඇතුළු වුණාම, වරදක් සිදු වුණාම වැඩ තහනම් කරලා, එහෙම නැත්නම් පරීක්ෂණයක් කරලා ටික දවසකට පස්සේ වැටුප් වර්ධක දෙකක් තුනක් ඉවත් කරලා ආයෙත් මාස හයකට අටකට පස්සේ අභියාචනයක් ඉදිරිපත් කළාම ඒකත් නිවැරදි කරලා ආපහු රාජ්‍ය සේවයේ රාජකාරී කිරීම සිදු වෙනවා.

එතැනින් එහාට සමාජයට ගියාම සමාජයේ වරදක් සිදු කළහොත් එහෙම නොමැතිනම් ඒ අදාල ආයතනයට විසඳා ගැනීමට නොහැකිව අධිකරණයට ඉදිරිපත් වුවහොත් මහාස්ත්‍රාත්වරු සමාව දෙනවා. දිසා විනිසුරුවරු සමාව දෙනවා. මහාධිකරණ විනිසුරුවරු සමාව දෙනවා. අභියාචනාධිකරණය පළවෙනි වතාවට අවවාද කරලා නිදහස් කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙත් අවවාද කරලා නිදහස් කරනවා. මේක ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි මුළු ලෝකයේම සිදුවන ක්‍රියාවලියක්. ඔබ ගිහිල්ලා බැලුවොත් ඉන්දියාවේ සමාව දීම, ඇමෙරිකාවේ සමාව දීම ආදී වශයෙන් ලෝකයේ බොහෝ රටවල මේ ක්‍රියාව සිදුවෙනවා.

මම දුටුවා ඥානසාර හිමියන්ට ලබාදුන් අධිකරණ තීන්දුවේත් යම් යම් කරුණු සටහන් වෙලා තිබෙනවා. උදාහරණයක් හැටියට ඥානසාර හිමියන්ට සමාව දිය යුතුයි කියලා ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු දියවඩන නිලමෙතුමා ඇතුළු සිවිල් සංවිධාන ඉල්ලීමක් කරනවා 2018 දෙසැම්බර් 16 වැනිදා.

නමුත් 2018 දෙසැම්බර් 16 වැනිදා ඉල්ලුවට එය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ ගැන කටයුතු කරමින් තිබෙනවා පමණයි. ඉන්පසුව 2019 ජනවාරි 22 වැනිදා නැවත මේ ගැන ක්‍රියා කරමින් තිබෙනවා බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසමින් සහ අනෙකුත් කටයුතු සිදු වෙමින් තිබෙනවා.

ඉන්පසුව 2019 අප්‍රේල් 21 වැනිදා උන්වහන්සේ අරගෙන ගිය මතවාදය, උන්වහන්සේ ඒ මතවාදය අරගෙන ගියේ මුස්ලිම් ජනතාවට විරුද්ධව නොවෙයි, මුස්ලිම් අන්තවාදී පිරිස් සම්බන්ධයෙන්. ඒ එළිදක්වපු කරුණු කාරණා සත්‍ය බව ඔප්පු වෙනවා.

උදාහරණයක් හැටියට 2019 අප්‍රේල් 21 වෙනිදා පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනවා. ඒ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණාට පසුව සමාජ කතිකාවක් ඇති වෙනවා, උන්වහන්සේ කියපු කරුණු පිළිබඳව. ඇතැම් අවස්ථාවල කිසිදු අවධානයක් යොමු කළේ නැහැ කියලාත් ප්‍රකාශ වුණා. කොහොම නමුත් උන්වහන්සේ කළ දේ හරි කියලා සමාජ මතයක් ඇති වෙනවා.

මේ සමාජ මතය සමඟ තමයි 2019 මැයි 23 වෙනිදා බෝම්බය පුපුරලා මාසයකට පස්සේ උන්වහන්සේට සමාව දීම සිදු වන්නේ. මේ සමාව දීම සිද්ධ වුණාට පසුව මේ සම්බන්ධයෙන් නැවත අධිකරණයට ගිහිල්ලා මේ ගැන විභාගයක් කරනකොට පිටු 55ක විතර දිග තීන්දුවක්, ඒ තීන්දුවේ මෙන්න මේසේ සඳහන් වෙනවා.

“සමකාලීන හේතු සහිත ලේඛන පැවතීමේ අවශ්‍යතාවයේ ප්‍රතිපත්තියක් ලෙස පවතියි“කියලා, ඊට අමතරව 1 (a) වග උත්තරකරු තමාගේ දිවුරුම් ප්‍රකාශය මඟින් සමාව දීම සඳහා වූ හේතු දැක්වීමට අපෝසත් වී ඇත (මගේ මතය නොවෙයි, අධිකරණ මතය මම කියවන්නේ).

ඔහු හුදෙක් ප්‍රකාශ කරන්නේ පස් වැනි වග උත්තරකරුට සමාව දීමට පෙර, සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමිවරුන්, සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක හිමියන්, වෙනත් ආගමික නායකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන් සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් විසින් කරන ලද ඉල්ලීම් ලැබුණු බව පමණි.

ශ්‍රී ලංකාවේ සමාජීය දේශපාලන හා සංස්කෘතික ජීවිතය තුළ බුද්ධාගම සහ මහා සංඝරත්නය ඉටු කළ ඓතිහාසික කාර්යභාරය සලකා බැලීමේදී, සියම් මහා නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මෙන්ම කෝට්ටේ පාර්ශ්වයේ මහානායක හිමිවරුන් විසින් කරන ලද නිරූපණයට ඉල්ලීම්වලට නිසි බරක් තැබිය යුතු බව නොඅනුමානය.“

මේ අධිකරණයේ තීන්දුවේ සඳහන් වෙන කාරණා.

“ඊළඟට සඳහන් වෙනවා, අනුරාධපුර යුගයේ ශ්‍රී ලංකාවේ සමාජීය, ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික වර්ධනයේ ආරම්භයක් ලෙස සැලකිය හැක. බෞද්ධ රාමුවක් තුළ ශ්‍රී ලංකාවේ දේශපාලන බිහිවී විකාශනය වීමද මෙම යුගයේ මතු වූ ප්‍රවණතාවයක් ලෙස දැකිය හැක.

මෙම පසුබිම තුළ බෞද්ධ රාජ්‍ය සමාජයට බද්ධ වී තිබූ බැවින් බෞද්ධ භික්ෂුවට දේශපාලනයේ ප්‍රමුඛ චරිත ලෙස ක්‍රියා කිරීමට හැකි විය“ කියලා මේ අධිකරණ තීන්දුවේ සටහන් වෙනවා.
මේ කාරණාවලදී සමාව දීමත් එක්ක මට තේරෙන්නේ නැහැ මේ තරම් විශාල ප්‍රශ්නයක් ඇති කරගෙන තියෙන්නේ ඇයි කියලා. උදාහරණයක් හැටියට ගත්තාම අපි ගතහොත් මෙහේස්ත්‍රාත් අධිකරණයකින් දෙන තීන්දුවක් අවසාන තීන්දුව නොවෙයි. එහෙනම් නීතිය සහ දැනුම අතරේ යම්කිසි පරතරයක් තිබෙන බවට හොඳම සාධකය තමයි මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදෙන තීන්දුව.
එම තීන්දුව ඇතැම් අවස්ථාවලදී දිසාධිකරණයේදී වෙනස් වෙනවා. සමහර වෙලාවට ඒ තීන්දුවම ලැබෙනවා. සමහර වෙලාවට දිසාධිකරණයෙන් දීපු තීන්දුව ආපහු අභියාචනා කළ විට මහාධිකරණයට එක්කෝ මහාධිකරණයේදී ඒ තීන්දුවම ලැබෙනවා, එහෙම නැතිනම් වෙනස් වෙනවා. එහෙනම් අපිට ඒක අවසාන නිගමනයයි කියලා සහතික කරගන්න බැහැ.
හොඳයි අපි මහාධිකරණයෙන් ලැබෙන තීන්දුව නැවත අභියෝගයට ලක් කළහොත් අභියාචනාධිකරණයේදී එය වෙනස් වෙන්නත් පුළුවන්, වෙනස් නොවෙන්නත් පුළුවන්. එහෙනම් ඒ දෙන තීන්දුවත් අපි අරන් ගියොත් ශ්‍රේෂ්ඨාධිකරණයට, ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නත් පුළුවන්.
මේක තමයි අධිකරණයේ ස්වභාවය. ඒ නිසා තමයි අධිකරණ පද්ධතිය තුළ තිබෙන ක්‍රියාවලියේ අවසාන පුරුකක් ලෙස සටහන් කර තිබෙන්නේ ජනාධිපති ද සමාව. ඒකනේ මම වරක් කිව්වේ ජෝ බයිඩන් මහත්මයා තමන්ගේ පුතාට සමාව දුන්නා කියලා. තාත්තා ජනාධිපති වෙලා පුතාට සමාව දුන්නා. ලංකාවේ දුන්නොත් බලන්න පුළුවන් හන්දිවල මොන තරම් උද්ඝෝෂණ තියෙනවද කියලා.
ඒ නිසා අපි කල්පනාවෙන් මේ කාරණා දිහා බලන්න තිබෙනවා. මම හිතන්නේ දැනටම රාජ්‍ය කරන ක්‍රියාදාමය නිසා රට තුළ ඇති කරමින් තිබෙනවා ජාතිවාදයක්. ජාතිවාදය ඇති කරන්නේ විරුද්ධ පක්ෂය නොව ආණ්ඩුව විසින් ගන්නා ක්‍රියාමාර්ග නිසා බව මතක් කරන්න කැමතියි.
චම්පික ඇමතිතුමා කිව්වා දහස් ගණන් සමාව දීපු හැටි, අත්සන් තබපු හැටි, මීට වැඩිය විශාල අපරාධකරුවන්ට කොහොමද සමාව දී තිබෙන්නේ කියලා. අපි පමණක් නොවෙයි, පාලන යන්ත්‍රවල හිටපු සියලුමදෙනා, අපි ගත්තොත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටි කෘරත්වයෙන් කටයුතු කළ දහස් ගණනකට සමාව දී සමාජගත කරලා තිබෙනවා.
ඇත්ත වශයෙන්ම යාපනයේ ළමයි පුරුදු වුණේ නැහැ ත්‍රස්තවාදයට. 1971දී පළවෙනි ප්‍රහාරය වවුනියාවේ පොලිසියටත්, යාපනයේ පොලිසියටත් එල්ල වෙනවා. පොලිසී පනස් ගණනකට ප්‍රහාරය එල්ල වෙන අතරේ යාපනයේ පොලිසියකට පළවෙනි වතාවට පහර දීම සිදු වෙනවා. දුටුගැමුණු රජතුමාගේ කාලයෙන් පස්සේ, එලාරගේ කාලයෙන් පස්සේ ඒ කියන්නේ යාපනයේ පොලිසියත් වවුනියාවේ පොලිසියටත් පහර දීම සිදු කරනවා.
ඒ කාලේ 1974ට පස්සේ මම හිතන්නේ ඒ පුරුද්දට වෙන්න ඇති දොරෙයිඅප්පා ඒ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා ඉදිරිපත් වුණේ කියලා. එතකොට මේක පුහුණු කළේ, දකුණේ ශ්‍රී ලංකික බෞද්ධයෝ යි කියාගන්නා බෞද්ධ දර්ශනය පිළිබඳ අවබෝධයක් නොමැති, මීළඟ ආත්මය පිළිබඳ විශ්වාසයක් නොමැති, මීළඟ ආත්මයේදී නිරයට යෑමට බලාපොරොත්තු වන පිරිස් විසින් ය. එවැනි අය පාලකයන් වුණාම රට තුළ මෙවැනි තත්වයක් ඇති වීම වැළැක්විය නොහැකි බව ද මතක් කරන්න කැමතියි.
මගේ අතේ තියෙනවා ඉන්දියාවේ අධිකරණයට අපහාස කළාම කොහොමද කරලා තියෙන්නේ කියලා.
සිදුවීම ශ්‍රේෂ්ඨාධිකරණය 2009. ශ්‍රේෂ්ඨාධිකරණය නඩුවක් විභාග වෙමින් පවතිද්දී පෙත්සම්කාරිය වූ ලීලා ඩේවිඩ් ඇතුළු පිරිසක් විනිසුරුවරුන්ට අසභ්‍ය වචනයෙන් බැනවදිමින් අධිකරණ ශාලාව තුළ දීම විනිසුරුවරුන් දෙසට සෙරෙප්පුවකින් දමා ගැසීම.
දඬුවම/ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය කිසිදු පූර්ව නඩු විභාගයකින් තොරව අධිකරණය ශාලාව තුළ දීම ලබාදුන් ක්ෂණික තීන්දුවෙන් ඇය ඇතුළු පිරිස මාස තුනක සිර දඬුවමක් නියම කර වහාම තිහාර් බන්ධනාගාරයට යවන ලදී. නමුත් ඒ සිරදඬුවම අතරවාරයේදී ඇයට සමාව හිමිවෙනවා.
ඊළඟට දෙවැනි අවස්ථාවත් සිදුවීම ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නීතිඥ නන්ද්ල් බල්වානි නැමැති අය නඩු තීන්දුවකට විරෝධය පාමින් විනිසුරුවරුන් දෙසට සෙරෙප්පු වීසි කර අසභ්‍ය වචනයෙන් කෑගැසීම තුළ රුපියල් 2000ක දඩයකුත් මාස හතරක සිර දඬුවමකුත් නියම කිරීම සිදු වෙනවා. ඔහුටත් සිර දඬුවම විදිමින් සිටින අතරවාරයේ සමාව හිමිවෙනවා.
ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයෙත් සිදුවීම් මාලාවක් තිබෙනවා. තායිලන්තයේ, ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ, එක්සත් ජනපදයේ, සයිප්‍රසයේ ආදී රටවල් ගණනාවක මෙවැනි සිදුවීම් අපිට අහන්න, දකින්න පුලුවන්. මනුෂ්‍යයා වැඩ කටයුතු කරනකොට ඒ අයගේ හැඟීම් විවිධ නිසා එවැනි අවස්ථාවක් ඇති වුණාම ඒවාට අධිකරණය තුළ සම්පූර්ණ සමාව ලබාදීම මාස කීපයක් ගිය විට සිදු කර තිබෙනවා.
උදාහරණයක් හැටියට ගත්තාම, විශාල වශයෙන් ඒ රටවල ජනාධිපතිවරු ඒවාට කොන්දේසි විරහිත මාස කීපයකට පස්සේ සමහර අවස්ථාවල අදාල අධිකරණය විසින්ම අභියාචනයක් ඉදිරිපත් කිරීමේදී නැවත සමාව දීම සිදු කර තිබෙනවා. එහෙනම් මේ කර්තව්‍යයයේදීත් අවස්ථා දෙකක් තිබෙනවා. එකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට මේ සඳහා පූර්ව සමාවක් ලබා දෙන්න පුළුවන්.
එහෙම නැත්නම් නැවත අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීම තුළ සමාව ලබාදෙන්න පුලුවන්. ලෝකයෙත් ශ්‍රී ලංකාවෙත් විවිධ අවස්ථාවල ඒ සඳහා උදාහරණ අනන්ත අප්‍රමාණ තිබෙනවා.
තවත් උදාහරණයක් ගත්තොත් 2017දී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් මත ඇමරිකාවේ වරදකරුවෙකු වූ පුද්ගලයෙකුට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පූර්ණ ජනාධිපති සමාවක් ලබා දෙනවා. මේ වගේ ලැයිස්තුවක් තියෙනවා.
අපි එකක් හොඳට සිහියේ තබාගත යුතුයි. මේ ප්‍රශ්නය හරහා ශ්‍රී ලංකාවේ ජාතීන් අතර අසමගියක් නිර්මාණය කිරීම බරපතල ඛේදවාචකයක් හැටියටයි අපි දකින්නේ. මේ තත්ත්වය ඇති කරන්නේ වෙන කවුරුවත් නොවෙයි. මේ තත්ත්වය ඇති කරන්නේ රජය ගන්නා නිවැරදි නොවන ක්‍රියාමාර්ග නිසායි.
ඒ නිසා අපි මේ ගැන බොහොම කල්පනාවෙන් ක්‍රියාකළ යුතුව තිබෙනවා. අපි දැක්කා කස්සප ස්වාමීන් වහන්සේට, නුවර සිට කොළඹට පැමිණෙන තුරු පය ලිස්සන්නේ නැතිව වැඩම කරන්න පුලුවන්. නමුත් විහාර මහා දේවි උද්‍යානයේදී උන්වහන්සේගේ පය ලිස්සුවා කියන්න තරම් රජය මොන තරම් බොළඳ තත්ත්වයකට පත්වෙලාද?
මහා සංඝරත්නයට පහරදීම අපි තරයේ හෙළා දකිනවා. එය සම්පූර්ණයෙන්ම වැරදියි. එය මහා පාප කර්මයක්. එවැනි පාප කර්මයක් මේ රජය කර තිබෙන අවස්ථාවක මේ සඳහා තවදුරටත් රට තුළ ජාතිවාදය වපුරන්නේ නැතුව මේ තත්ත්වය අවසන් කිරීමට කටයුතු කළ යුතුයි කියලා අපි රජයට යෝජනා කරන්න කැමතියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කිසිම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුවත් කාශ්මීරය ගැන කතා නොකිරීම කණගාටුයි- ශිරාස් යුනුස්

වර්තමාන ආණ්ඩුව සහ විරුද්ධ පක්‍ෂය කාශ්මීරය ගැන කතා නොකිරීම ඉතාම කණගාටුවට කරුණක් බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුණුස් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්ව⁣ා...

බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ

රුපියල් බිලියන 2.8 ක දේශීය අරමුදල් යොදාගනිමින් බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ.....! කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන...

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එනවා – විපක්ෂ නායක සජිත්

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට...

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයින් බිහිකිරීමට සැලසුම් සකස් කරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයන් බිහිකිරීම මෙන්ම නිරෝගී ජනතාවක් වෙනුවෙන් ක්‍රීඩාව ප්‍රවර්ධනයට සැලසුම් සකස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img