සිරියානු දේශසීමාවට ආසන්නව දකුණු දිග තුර්කියට අද (06) බලපෑ දරුණු භූකම්පනයෙන් මේ වනවිට තුර්කියේ සහ සිරියාවේ 2300කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ මේ වනවිට තුර්කියේ මරණ 1541ක් සහ සිරියාවේ මරණ 810ක් වාර්තා වන බවය.
Update
======================================================
සිරියානු දේශසීමාවට ආසන්නව දකුණු දිග තුර්කියට අද (06) බලපෑ දරුණු භූකම්පනයෙන් මේ වනවිට තුර්කියේ සහ සිරියාවේ 2000කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ මේ වනවිට තුර්කියේ මරණ 1498ක් සහ සිරියාවේ මරණ 783ක් වාර්තා වන බවය.
භූ කම්පනය සිදුව තිබුණේ දකුණු දිග තුර්කියේ, සිරියානු දේශසීමාව සමීපයේ පිහිටි ගාසිඇන්ටෙප් නගරය ආසන්නයේ ය.
එය රික්ටර් මාපාංක 7.8 ක ප්‍රබල භූකම්පනයකි.
භූකම්පනය සිදුව ඇත්තේ තුර්කි වේලාවෙන් උදෑසන 4.17 ට පමණ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කම්පනය සමග තුර්කියේ ගාසිඇන්ටෙප් සහ තදාසන්න කලාපවල උස් ගොඩනැගිලි රැසක් කඩා වැටී තිබුණි.
භූකම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා තිබුණේ මිලියන 3.7ක සිරියානු සරණාගතයින් වෙසෙන කඳවුරු සංකීර්ණයකට ආසන්නවය.
විදෙස් මාධ්‍ය පවසන්නේ, භූකම්පනය සිදුවන විට දෙරටේ බොහෝ දෙනා නින්දේ පසුවීම නිසා මරණ ගණන ඉහළ ගොස් ඇති බවය.
සුන්බුන් අතර සිර වූ පිරිස් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකව පවතී.
ප්‍රධාන කම්පනයෙන් පසු රික්ටර් මාපාංක 6.7 ක පසු කම්පනයක් ඇතුළු කම්පන 40කට වැඩි සංඛ්‍යාවක් සිදුව ඇත්තේ හානිය තවත් ඉහළ නංවමිනි.
භූකම්පනය සිදුවී පැය කිහිපයකට පසුව තුර්කියේ හාලිලී නගරයේ මහල් ගොඩනැගිල්ලක් මුළුමනින්ම කඩා වැටි තිබුණි.
කම්පනය තුර්කියේ අන්කාරා අගනුවර ඇතුළු නගර 10කට පමණක් නොව අසල්වැසි සිරියාවේ ඇලැප්පෝ, වෙත ද එල්ල කළේ ප්‍රබල බලපෑමකි.
එමෙන්ම ලෙබනනයට, සයිප්‍රසයට සහ ඊශ්‍රායලයට ද භූකම්පනයේ බලපෑම දැනී තිබුණි.
පවතින ආපදාව හමුවේ තුර්කිය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, ජනතාවට ජංගම දුරකථන භාවිතයෙන් වළකින්නැයි එරට රජය ඉල්ලා සිටි.
ඒ මුදාගැනීමේ මෙහෙයුම්වල සන්නිවේදන කටයුතු සඳහා බාධා සිදුවීම වැළැක්වීම සඳහාය.
මෙය 1939 වසරෙන් පසු තුර්කියට බලපෑ දරුණුතම විපත බවට පැවසූ තුර්කි ජනාධිපති රිචෙප් එර්දොවාන් තහවුරු කළේ භූකම්පනයෙන් තුර්කියේ ගොඩනැගිලි 2,800කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී ඇති බවය.
එමෙන්ම සිරියානු රජයේ පාලනය පවතින ඇලැප්පෝ, හමා ඇතුළු ආපදාවට පත් නගරවල සහ කැරලි පාලනයේ පවතින කලාපවල ද මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව සිරියානු බලධාරීන් පැවසීය.
ඊට විදෙස් සහාය අපේක්ෂා කරන බව සිරියානු සහන කණ්ඩායම් වැඩිදුරටත් පවසයි.
ඊට ප්‍රතිචාර ලෙස සහන කටයුතුවලට සහායදීමට රුසියාව ඇතුළු රටවල් කිහිපයක් දැනටමත් ඉදිරිපත්ව සිටී.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගෙවුණු සියවස තුළ මෙම කලාපයෙන් වාර්තා වූ ප්‍රබලතම භූකම්පනය මෙය බවය.
මේ අතර අද පස්වරුවේත් එම කලාපයෙන් රික්ටර් මාපාංක 7.5ක ඉහළ ප්‍රබලත්වයෙන් යුතු තවත් භූ කම්පනයක් වාර්තා විය.






















