යුක්රේනයේ කියුව් අගනුවර අත්පත් කර ගැනීමේ අරමුණින් අතිශය තීරණාත්මක ප්රහාරයක් එල්ල කිරීමට රුසියානු හමුදා යළි සංවිධානය වෙමින් පවතින බව යුක්රේන බලධාරීන් පවසයි.
රුසියා – යුක්රේන යුද ගැටුම් ආරම්භ වී දින 25ක් ගතවී ඇති අද (20) දිනය වනවිට මරියුපෝල් නගරයේ වීථි කරා සටන් ඇවිලී ගොස් තිබේ.
බලධාරීන් පවසන්නේ ප්රහාර හමුවේ නගරයේ සිවිල් වැසියන් 2,000කට වඩා මියගොස් ඇති අතර ගොඩනැගිලිවලින් 90%කට අලාභ හානි සිදුව ඇති බවය.
මෙවැනි ඛේදජනක තත්ත්වයක් හමුවේ වුවද යුක්රේන හමුදා තවමත් සටන අතහැර නොමැත.
කෙසේ වෙතත් දකුණු වරාය නගරයක් වන මරියුපොල් හි දරුණු සටන්වලින් පසු අසෝව් මුහුදට ප්රවේශ වීමට ඇති මාර්ග අවහිර වීම හේතුවෙන් ඔවුන් දැඩි අසීරුතාවට පත්ව සිටී.
යුක්රේන හමුදා නිලධාරීන් පවසන්නේ කියුව් අගනුවර අත්පත් කර ගැනීමට ද රුසියානු හමුදා මෙම උපාය මාර්ගය අනුගමනය කරනු ඇති බවය.
ඒ අනුව කියුව් අගනුවර අත්පත් කර ගැනීමේ අරමුණින් අතිශය තීරණාත්මක ප්රහාරයක් එල්ල කිරීමට රුසියානු හමුදා යළි සංවිධානය වෙමින් පවතින බව ඔවුන් පෙන්වා දෙති.
චර්නිහිව් සහ සුමි නගරවලින් කියුව් අගනුවර හුදෙකලා කර ප්රහාර එල්ල කර නගරය සිය ග්රහණයට ගැනීමේ රුසියානු හමුදාවන්ගේ සැලසුම වී ඇති බව ද යුක්රේන බලධාරීන් සඳහන් කර තිබේ.






















