විශ්රාම යන නාවික හමුදාපති ජනපති හමු වෙයි …
වසර 36 ක සේවය නිම කොට විශ්රාම යන නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.
2019 ජනවාරි 01 වැනි දින නාවික හමුදාපති ධුරයට පත් පියල් ද සිල්වා ශ්රී ලංකාවේ 23 වන නාවික හමුදාපතිවරයායි.
30 වසරක ත්රස්තවාදය අවසන් කිරීම සඳහා ඉමහත් කැපවීමෙන් ක්රියා කළ ඔහු තම සේවා කාලය තුළ වීර වික්රම, වීර වීභූෂණ, රණ වික්රම, රණශූර, විශිෂ්ඨ සේවා විභූෂණ ඇතුළු පදක්කම් රැසක් හිමි කර ගත්තේය.
මවුබිම වෙනුවෙන් කළ විශිෂ්ඨ මෙහෙය අගය කළ ජනාධිපතිතුමා ඔහුගේ විශ්රාම දිවියට සුභාශීංසන එක් කළේය.
සේවයෙන් විශ්රාම ගන්නා පියල් ද සිල්වා මහතා ජනාධිපතිතුමා විසින් අද්මිරාල් ධුරයට උසස් කර තිබේ.
සාම්ප්රදායිකව තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණ.


























