සෑම පුද්ගලයින් දස දෙනෙකුගෙන්ම එක් අයෙක් කොවිඩ් ආසාදිතයෙක් -ලෝක සෞඛ්‍ය සංවිධානය
ලෝකයේ සෑම පුද්ගලයින් දස දෙනෙකුගෙන් එක් අයෙකුටම කොවිඩ් ආසාදනය වී තිබීමේ සම්භාවිතාවක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එම සංවිධානය සැක පළකරන්නේ, දැනට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වූ පිරිස මිලියන 35 ඉක්මවන නමුත්, එම අගය මිලියන 800 ක් තරම් ඉහළ අගයක් ගන්නා බවය.
එමෙන්ම පවතින තත්ත්වය හමුවේ බහුතර ලෝක ප්‍රජාව දැඩි අවදානමකට ලක්ව ඇති බවත් එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.
තහවුරු වූ ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන මේ වනවිට 35,708,182 කි.
වාර්තා වී ඇති සමස්ථ මරණ ගණන 1,046,049ක් වන අතර, සුවය ලබා ඇති සමස්ථ ආසාදිතයින් ගණන 26,877,331කි.
මේ අතර යුරෝපයේ කොවිඩ් ව්‍යාප්තිය දැඩි අවදානම් සහගත අගයක් කරා ඉහළ ගොස් ඇතැයි යුරෝපානු වසංගත පාලන මධ්‍යස්ථානය පවසයි.
එම සංවිධානය වැඩිදුරටත් පෙන්වාදෙන්නේ, සෑම යුරෝපානුවන් ලක්ෂයකින් විසිදෙනෙකුම දෛනිකව කොවිඩ් ආසාදනයට ගොදුරු වන බවය.
එමෙන්ම අධිවේගී කොවිඩ් අවදානමෙන් මිදී ඇත්තේ ජර්මනිය, පින්ලන්තය, සයිප්‍රස් සහ නෝර්වේ යන යුරෝපානු රටවල් 4 පමණක් බවද එම ආයතනය පවසයි.
ඔවුන්ගේ ගණනයන්ට අනුව වැඩිම අවදානමකට මුහුණපා ඇති රාජ්‍යයන් වන්නේ චෙක් ජනරජය, නෙදර්ලන්තය සහ ප්රංශයයි.
පවතින තත්ත්වය සලකා අයර්ලන්තය, අයිස්ලන්තය, ප්‍රංශයේ පැරිස් නුවර, චෙක් ජනරජය, ජර්මනියේ බර්ලින් නුවර, ඇතුලු කලාප රැසක් දැඩි සංචරණ සහ දුරස්ථකරණ සීමා ක්‍රියාවට නංවමින් සිටින බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දී තිබුණි.
මේ අතර යුරෝපානු කවුන්සිලයේ සභාපති උර්සුලා වොන් ඩර් ලෙයෙන් ද මේ වනවිට ස්වයං නිරෝධායනයේ නිරතවෙමින් සිටී.
ඒ කොවිඩ් ආසාදිතයෙකු එක්වූ රැස්වීමකට සහභාගිවීමෙන් අනතුරුවය.
මේ අතර ඉහළ දෛනික ආසාදිතයින් ගණනක් වාර්තාවීමත් සමග ඉරානයද නැවතත් දැඩි සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබේ.
ඒ අනුව රජය පියවර ගත්තේ, එරට පාසල්, විශ්වවිද්‍යාල, පූජනීය ස්ථාන, පොදු ආයතන සහ පුස්තකාල වසා දැමීමටය.
මේ අතර ඊයේ දිනයේදීත් වැඩිම කොවිඩ් ආසාදිතයින් සහ මරණ ඉන්දියාවෙන් වාර්තා විය.
ඒ අනුව ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් ගණන 6,685,082ක් වන අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 103,600කි.






















