පසුගිය මැයි 01 වන දින තංගල්ල හී දි පැවැති මැයි දින රැළියේ දී ජනතා විමුක්ති පෙරමුණ මහා ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් ගල් අගුරු සම්බන්ධව පුර්ණ බලය සහිත ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවට හා එහි සාමාජික විනිශ්චකාරතුමන්ලාට සිදු කරන ලද බරපතල අපහාසය සම්බන්ධව වහාම නීතිය ක්‍රියාත්මක කර ටිල්වින් සිල්වා මහතා අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අද දින සංදේශයක් ගල් අගුරු සම්බන්ධව පුර්ණ බලය සහිත ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ ලේකම්තුමන්ට බාර දෙන ලදී.
එම අවස්ථාව සඳහා නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා,කොළඹ දිස්ත්‍රික් ලේකම් විකුම් කිත්සිරි මහතා, හෝමාගම ආසන සංවිධාධායක මධ්‍යම කාරක සභික නිශෝන් ඉන්දික මහතා,බොරැල්ල ආසන සංවිධායක කුෂාන් මදනායක මහතා හා පක්ෂ ක්‍රියාකාරි රොමේෂ් සාලින්ද මහතා සහභාගි විය.
මැයි 01 වන දා තංගල්ල පවත්වන ලද මැයි දින රැළියේ දී ජනතා විමුක්ති පෙරමුණ මහා ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් මෙම ස්වාධීන විමර්ශන කොමිෂන් සභාවෙන් ලබා දීමට නියමිත තීන්දුව පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් පහත පරිදි සිදු කරන ලද බව එම සන්දේශයේ සඳහන් වේ.
” ඔය වාර්ථාව මාස තුනෙන් එනවා. අපේ ආණ්ඩුවේ වංචාවක් නෑ කියලා ඔපුප් වෙනවා. හැබැයි පරණ ආණ්ඩුවල ගල් අගුරු වංචා කරපු හාදයින්ට හිරගෙවල් වල ලගින්න සිද්ධ වෙනවා”
ටිල්වින් සිල්වා මැයි පළවෙනි දින තංගල්ලේදී පැවති මැයි දින රැළියේදී.
මේ අනුව ජනාධිපතිතුමන් විසින් පත් කල විනිසුරුවරුන් තිදෙනා සහිත ස්වාධින කොමිෂන් සභාවේ තින්දුව ටිල්වින් සිල්වා මහතා විසින් මේ වනවිට ප්‍රකාශ කිරීම තුලින් බරපතල ලෙස කොමිෂන් සභාවට මෙන්ම එහි සාමාජික විනිසුරුතුමන්ලාටද අපහාසයක් සිදු කර ඇත. ඒ තුලින් අධිකරණ විනිශ්චකාරතුමන්ලාගේ ආත්ම ගරුත්වයට මෙන්ම මේ රටේ විනිශ්චකාරවරුන්ට තිබෙන නිදහස් බලය ප්‍රශ්න සහගත තත්ත්වයට පත් කර ඇත.
ඒ අනුව අධිකරණයට හෝ විනිසුරුවරුන්ට අපහාස වන පරිදි ප්‍රකාශ නිකුත් කරමින් අධිකරණයට අපහාස සිදු කල ජනතා විමුක්ති පෙරමුණ මහා ලේකම් ටිල්වින් සිල්වා මහතා වහාම අත් අඩංගුවට ගන්නා ලෙස වැඩිදුරටත් අදහස් දැක් වු සුගීෂ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කරන ලදී.
තවද ගල් අගුරු නැව් රටට ගෙන ඒමේ අවසන් දිනය 2026 අප්‍රේල් මස 20 වන දිනය. මැයි මාසය තුල දී වාරකන් , නිරිත දිග මෝසම් සුළග ආරම්භ වී වැසි අරඹන නිසා අප්‍රේල් මස අවසන් මාසය ලෙස නම් කරන ලදී. නමුත් දින ගණනාවක් මුළුල්ලේ ගල් අගුරු නැව් දෙකක් මේ වනවිට ගොඩ බෑමට නොහැකිව රදවා තබා තිබේ. එම ගල් අගුරු බා ගැනීම සඳහා රජයේ කිසිදු වැඩපිළිවෙලක් නොමැති වීම නිසා ඉදිරි මාස කිහිපය ඇතුලත දැඩි බල ශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදු වේ. මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින්ද මෙම පවතින බලශක්ති අර්බුදය හේතුවෙන් ද සැප්තැම්බර් මාසයේ දී විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදු වන බව ප්‍රකාශ කර ඇත. මේ පිළිබඳවද ඔබ කොමිෂමේ කාරුණික අවධානය යොමු කරන මෙන් ඒතුමා ඉල්ලා සිටියේය.
එසේම නොරොච්චෝලේ (ලක්විජය )ගල් අගුරු බලාගාරය, සාම්පුර් ගල් අගුරු බලාගාරය,ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ,උමා ඔය බහු – අරමුණු ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදී රට තුල මෙවැනි බලශක්ති අර්බුදයක් නිර්මාණය කිරීමට මුල් වු විවිධ පුද්ගලයින් පිළිබඳවද සොයා බලා කටයුතු කරන ලෙස ගල් අගුරු සම්බන්ධ පුර්ණ බලය සහිත මෙම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින බව ප්‍රකාශ කරන ලදී.






















