නිලන්ත ජයවර්ධන 17 වන දිනටත් පාස්කු කොමිසම ඉදිරියේ සාක්ෂි දෙයි
2018 වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසු ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගි නොවු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා යළි සහභාගි වුයේ පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයට පසුදින පැවති ආරක්ෂක කවුන්සලයට බව රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද (24) අනාවරණ කළේය.
ඒ පාස්කු ප්රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්ය.
රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා 17 වන දිනටත් පාස්කු කොමිසම හමුවේ අද සාක්ෂි ලබාදුනි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ත්රස්ත ප්රහාරය එල්ලවීමට පෙර විධිමත් ලෙස ජාතික ආරක්ෂක කවුන්සලය රැස් නොවුනද, ප්රහාරයට පසු එය දෛනිකව රැස්වන තත්ත්වයකට පැමිණි බවය.
ප්රහාරයට පසුදින පැවති ජාතික ආරක්ෂක කවුන්සිලයේදි එහි සිටි කිසිවෙකු හෝ ප්රහාරය සම්බන්ධයෙන් තමාට දෝෂාරෝපණය කළේදැයි ජනාධිපති කොමිසම එහිදී නිලන්ත ජයවර්ධන මහතාගෙන් ප්රශ්න කර සිටියේය.
එම ප්රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ තමා නිදහසට හේතු විමසනතෙක් නොසිටි අතර 2018 සිට පාස්කු ප්රහාරය තෙක් වාර්තා කර තිබූ සියලු දේ ජාතික ආරක්ෂක කවුන්සලයට ප්රකාශ කළ බවය.
ජනාධිපතිවරයා අදාළ රැස්වීම අතරතුර තමාට දෝෂාරෝපණය නොකළේදැයි කොමිසම විමසූ අවස්ථාවේ සාක්ෂිකරු ප්රකාශ කළේ ” ඔයා දැනගෙන සිටියේ නැද්ද ” යනුවෙන් පමණක් ජනාධිපතිවරයා තමාගෙන් විමසු බවය.
” මම ඔබතුමාට කථාකරන්න උත්සහ කළා ” යනුවෙන් තමන් ජනාධිපතිවයාට පිළිතුරු දුන් බවත් නිලන්ත ජයවර්ධන මහතා සඳහන් කළේය.






















